යම් පනත් කෙටුම්පතක් නැතහොත් පනත් කෙටුම්පතක
යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල දැයි යන යම්
ප්‍රශ්නයක් පිළිබඳව තීරණයක් ගැනීමේ තනි හා අනන්‍ය අධිකරණ
බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේ ය:
එසේ වුව ද -
(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය
කිරීම සඳහා වූ නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට
ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වූ පනත්
කෙටුම්පතක් ලෙස දීර්ඝ නාමයේ විස්තර කර ඇති පනත් කෙටුම්පතක්
සම්බන්ධයෙන් වන විට 83 වැනි ව්‍යවස්ථාවෙහි විධිවිධාන ප්‍රකාර ඒ
පනත් කෙටුම්පත ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත
කිරීම අවශ්‍ය වේ ද යන ප්‍රශ්නය පමණක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්
තීරණය කළ හැක්කේ ය.
(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය
කිරීම සඳහා වූ නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට
ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වූ පනත්
කෙටුම්පතක් ලෙස දීර්ඝ නාමයේ විස්තර කර ඇති පනත් කෙටුම්පතක්
83 වැනි ව්‍යවස්ථාවෙන් නියමිත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත
කිරීමට සහ ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට
අදහස් කරන බවට අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කරනු ලැබූ
අවස්ථාවක ඒ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට
කිසිම අධිකරණ බලයක් නොමැත්තේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසි ම අධිකරණ බලයක් ක්‍රියාත්මක
නොකළ යුත්තේ ය.
(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය
කිරීම සඳහා වූ නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න
කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා
වූ පනත් කෙටුම්පතක් ලෙස දීර්ඝ නාමයේ විස්තර කර නොමැති
පනත් කෙටුම්පතක් 84 වැනි ව්‍යවස්ථාවෙහි නියමිත විශේෂ බහුතර
ඡන්දයෙන් සම්මත කිරීමට අදහස් කරන බවට අමාත්‍ය මණ්ඩලය විසින්
සහතික කරනු ලැබූ අවස්ථාවක 83 වැනි ව්‍යවස්ථාවෙහි විධිවිධාන
ප්‍රකාර ඒ පනත් කෙටුම්පත ජනතාව විසින් ජනමත විචාරණයක දී
අනුමත කිරීම අවශ්‍ය වේ ද නැතහොත් ඒ පනත් කෙටුම්පත 82 වැනි
ව්‍යවස්ථාවේ (1) වැනි හා (2) වැනි අනුව්‍යවස්ථා අනුව පිළියෙළ වීම
අවශ්‍ය වේ ද යන ප්‍රශ්නය පමණක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය
කළ හැක්කේ ය.
(ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය
කිරීම සඳහා වූ නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට
ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වූ
පනත් කෙටුම්පතක විධිවිධානයක් ලෙස දීර්ඝ නාමයේ විස්තර කර
නැති පනත් කෙටුම්පතක යම් විධිවිධානයක් 84 වැනි ව්‍යවස්ථාවෙන්
නියමිත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අදහස් කරන බවට
අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කරනු ලැබූ අවස්ථාවක, ඒ පනත්
කෙටුම්පතේ වෙනත් යම්කිසි විධිවිධානයක් 84 වැනි ව්‍යවස්ථාවේ
නියමිත බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය වේ ද නැතහොත්
83 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාර, ඒ පනත් කෙටුම්පතේ යම්
විධිවිධානයක් ජනමත විචාරණයක් මගින් ජනතාව විසින් අනුමත
කිරීම අවශ්‍ය වේ ද නැතහොත් ඒ පනත් කෙටුම්පත 82 වැනි
ව්‍යවස්ථාවේ (1) වැනි සහ (2) වැනි අනුව්‍යවස්ථා අනුව පිළියෙළ වීම
අවශ්‍ය වේ ද යන ප්‍රශ්නය පමණක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය
කළ හැක්කේ ය.